ගැබ්ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීම (Pregnancy test)

මෙම පරීක්ෂණයේ මූලික සිද්ධාන්තය කුමක්ද?

මෙහිදී ගැබ් ගැනීම ආශ‍්‍රිතව ඇතිවන හෝමෝනයක් රුධිරයේ හෝ මුත‍්‍රාවල ඇත්දැයි පරීක්ෂාකර බලනු ලැබේ.

එම හෝමෝනය හියුමන් කෝරියෝනික් ගොනැඩොට්‍රොෆින් (hCG) යනුවෙන් හැදින්වේ.

මෙම හෝර්මෝනය ශරීරයේ සෑදෙන්නේ මවගේ ඩිම්භයක් ශූක‍්‍රාණුවක් සමග එක් වී එය ගර්භාෂයේ තැන්පත් වූ විටවේ.

සාමාන්‍යයෙන් මෙසේ ඩිම්භයක් හා ශුක‍්‍රාණුවක් එකට එක් වී ගර්භාෂයේ තැන්පත් වීමට දින 6ක් පමණ ගතවේ.

මෙම පරීක්ෂණය කරන විවිධ ක‍්‍රම තිබෙනවාද?

මෙය රුධිර පරීක්ෂණයක් ලෙස හෝ මුත‍්‍රා පරීක්ෂණයක් ලෙස සිදුකල හැක.

මේ අතරින් රුධිර පරීක්ෂණය මගින් රුධිරයේ hCG හෝමෝනය මූලික අවස්ථාවේදීම ඉතාම නිවැරදිව හදුනා ගැනීම කල හැක.

මූත‍්‍රා පරීක්ෂණය මගින් හදුනා ගැනීමට ඊට වඩා දින ගනනක් ගතවනු ඇත.

නමුත් බොහෝ විට මුත‍්‍රා පරීක්ෂණය මූලිකවම කරනු ලැබේ. ඊට හේතු වන්නේ එය ඉතා සරල පරීක්ෂණයක් වීමත් නිවසේදී වූවද කිරීවට හැකි වීමත් හා එ් සදහා වියදම අවම වීමත් නිසාවෙනි.

නිවසේදී පවා කල හැකි මුත‍්‍රා පරීක්ෂණය කල හැක්කේ කුමන කාල රාමුවක් තුලදීද?

මෙය සාමාන්‍යයෙන් ලිංගික එකතු වීමක් සිදුවී පලමුවරට නියමිත දිනට මාස් ශුද්ධිය සෑදුනේ නැතිනම් ඊට පසු සතියේ කල හැක.

නිවසේදී මෙම පරීක්ෂණය සිදු කරන්නේ කෙසේද?

මේ සදහා භාවිතා කරන ස්ට‍්‍රිප්ස් ( කුඩා පටියක් වැනි ) බොහොමයක් ෆාමසි වලින් ලබා ගත හැක.

උදේම දවසේ පලමු වරට පිට කරන මූත‍්‍රා පිරිසිදු වීදුරු බදුනකට ලබා ගන්න.

ඉන් පසු ෆාමසියෙන් ලබා ගත් ස්ට‍්‍රිප් එක ලකුණුකර ඇති මට්ටමට මුත‍්‍රාවල ගිල්වා විනාඩි කිහිපයක් තබන්න.

මෙම පරීක්ෂණයේ ප‍්‍රථිපල නිගමනයකට එන්නේ කෙසේද?

මෙම ස්ට‍්‍රිප් එකේ හරහට ඇත්තේ එක් තීරුවක් පමණි. නමුත් පරීක්ෂණයෙන් පසු යාන්තමට හෝ එම තීරුවට පහලින් තව තීරුවක් මතු වන්නේ නම් එය ගැබ්ගෙන ඇති බවට සාක්ෂියක් වේ.
එවැනි තත්වයකදී වෛද්‍යවරයා හමු වී තවදුරටත් මෙය තහවුරුකර ගැනීම වඩා යොග්‍ය වේ.

මෙම පරීක්ෂණයේ ප‍්‍රථිපල වැරදි ලෙස නේවන අවස්ථා තිබේද?

කල් ඉකුත් වූ ස්ට‍්‍රිප්ස් භාවිතා කිරීම.

මාස් ශුද්ධිය නැවතී පලමු දින දෙක තුනේදීම පරීක්ෂණය සිදු කිරීම. (10%-15% පමණ ප‍්‍රථිපලය ගැබ් ගැනීමක් නැති ලෙස පෙන්වයි. මේ සදහා මාස් ශුද්ධිය නතර වී සතියකින් පමණ මෙම පරීක්ෂණය සිදු කිරීම යෝග්‍ය වේ).

ඊට හේතුව වන්නේ මෙහි ප‍්‍රථිපලය සදහා වැදගත් වන hCG හෝමෝනය රුධිරයේ යම් තරමක සාන්ද‍්‍රණයක් ඇති වීමට එක්වු ශූක‍්‍රාණුවක් හා ඩිම්භය ගර්භාෂයේ තැන්පත් වී සතියක් පමණ ගතවීමයි.

මාස් ශුද්ධිය ක‍්‍රමාණුකූල නොවන අයෙකු මෙම පරීක්ෂණය සිදුකිරීමේදී ගැටලු මතුවිය හැක.
ඊට හේතු වන්නේ මාස්ශුද්ධිය පමා වීම ගැබ් ගැනීමක් නොවීම නිසා විය හැකි බැවිනි.


ලිපිය පළකල දිනය Article uploaded on: 12/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු