කකුල් වල නහර ගැටගැසීම (Varicose veins)

නහර ගැටගැසීම් ඇතිවන්නේ කෙසේද?

රුධිර වාහීනි ප‍්‍රධාන වර්ග 2ක් ඇත. ඒවා නම් පිරිසිදු රුධිර ගෙන යන ධමනි හා අපිරිසිදු රුධිරය ගෙන යන ශිරා වේ. සාමාන්‍යයෙන් ධමනි පිහිටන්නේ ශරීරයේ ඇතුළතින් වන අතර ඊට මතුපිටින් ශිරා පිහිටයි.
නහර ගැටගැසීමේ දී සිදුවන්නේ මේ මතුපිටින් පිහිටන ශිරා වල රුධිරය එකතුවී ඒවා විශාල වීමත්, දඟර ගැසීමත්ය.

මෙසේ රුධිරය එකතුවීමට හේතු මොනවාද?

මෙම ශිරාවල රුධිරය ආපසු ගැලීම වැලැක්වීමට කපාට ඇත. එම කපාට වල ක‍්‍රියාකාරිත්වය හරියාකාරව නොවන අවස්ථාවල ඉහළින් පිහිටන රුධිරයෙන් එන තෙරපුම පහළම ප‍්‍රදේශයේ එනම් කකුල්වලට යොමුවේ. එම නිසා රුධිරය පහළ ප‍්‍රදේශවල එකතුවේ.
-මෙම ශිරා වල රුධිර ගමනයට සිදුවිය හැකි අනෙකුත් බාධා වනුයේ
⋆ විශාල ගෙඩියකින් එම ශිරා හිරවී තිබීම.
⋆ ශිරා ඇතුලත ලේ කැටි හිරවී තිබීම
⋆ දරුවන් ලැබීමට සිටින මවුවරුන්ගේ විශාල වූ ගර්භාශය මඟින් එම ශිරා හිරවී තිබීම.
⋆ සමහර රැකියා වලදී වැඩිවේලාවක් සිටගෙන සිටීමට සිදුවීම.

මෙහිදී නහර ගැටගැසීමට අමතරව ඇතිවිය හැකි අනෙකුත් රෝග ලක්‍ෂණ මොනවාද?

- එක දිගට හිටගෙන ඉන්න විට කකුල් වල කැක්කුම ඇතිවීම.
- කකුල් වල පහළ කොටස (වළළුකර) ප‍්‍රදේශය කැසීම, ඝන වීම හා කළු පැහැයක් ගැනීම.
- වළළුකර ප‍්‍රදේශය ඉඳිමීම. මෙය හවස්වන විට වැඩිවන අතර නිදාගෙන නැගිටින විට සම්පූර්ණයෙන් පහව යයි.
- වළළුකර ප‍්‍රදේශයේ තුවාල ඇතිවීම හා ඒවා සුව නොවීම.
- සමහර අවස්ථාවල ඉතා සුළු තුවාලයකදී හෝ ඉබේම තුවාල වී අධික රුධිර වහනය වීම.

⋆ බොහෝවිට නහර විශාල වී ගැටගැසුනු ස්වභාවයක් තිබුණද ඒවා මඟින් කිසිදු අපහසුතාවයක් හෝ කිසිදු ප‍්‍රශ්ණයක් ඇති නොකරයි. එවැනි පුද්ගලයින්ට ප‍්‍රථිකාර කිරීම අවශ්‍ය නොවේ.

ප‍්‍රථිකාර කිරීම අවශ්‍ය වන අවස්ථා මොනවාද?

- නහර ගැටගැසීමත් සමඟ දැරිය නොහැකි ආකාරයෙන් කැක්කුම ඇතිවීම.
- නිතර නිතර කකුල්වල විෂබීජ ගති ඇතිවීම. (ඉඳිමී රතුවීම, කැක්කුම ඇතිවීම, උණගැනීම)
- කකුල් වල හේතුවක් රහිතව තුවාල ඇතිවීම හා ඒවා සුවනොවීම.

මේ සඳහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

ප‍්‍රථිකාර ක‍්‍රම, ඒ අවස්ථාවේදී නහර ගැටගැසී ඇති ප‍්‍රමාණය හා ඒ හා සම්භන්ධව පැන නැගී ඇති ප‍්‍රශ්ණය මත පදනම් වේ.

- ඉතා සුළු වශයෙන් ඇත්නම් එය තවදුරටත් වර්ධනය වීම වැලැක්වීමට, සිටගෙන සිටින සෑම විටම කකුල් වලට බැන්ඩ්ඒජ් එකක් දැමීම.(Shape support bandage)
- එකදිගට හිටගෙන සිටීමෙන් වැලකීම.
- කකුල් වල තුවාල ඇති නොවීමට වගබලා ගැනීම.
යන කරුණු පිළිපැඳිය යුතුවේ.

මීට අමතරව, නහර ගැටගැසීමේ ස්වභාවය හා පිහිටීම අනුව එම ගැටගැසුණු නහර හැකිලී යාමට ශරීරයට අහිතකර නොවන ද්‍රව්‍යයක් සිරින්ජයක් මාර්ගයෙන් ආදාල ස්ථානයට ඇතුළු කිරීම කරුණු ලැබේ. (Sclerotherapy)
එය උග‍්‍ර අවස්ථාවේ ඇත්නම් බොහෝ විට සිදුකරනුයේ ශල්‍යකර්මයක් මාර්ගයක් අදාල ශිරාව සම්පූර්ණයෙන් ඉවත්කර දැමීමයි.

ලිපිය පළකල දිනය Article uploaded on: 28/03/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු