උදරයේ දැවිල්ල (හිටිහැටියේම ඇතිවන) Acute Gastritis

එසේ වීමට හේතු මොනවාද ?

එකවර ආමාශයේ බිත්තියේ ඇතිවන ඉදිමීමක් (ආසාදනයක්) නිසා සිදුවේ.

-
සමහර බෙහෙත් වර්ග විශේෂයෙන් හන්දි අමාරු වලට බොන බෙහෙත් වර්ග (NSAIDS) සහ පපුවේ අමාරුවලට දිනපතා බොන ඇස්ප‍්‍රීන් වැනි ඖෂධ වර්ග
- පෙර දිනයේ අධික සාන්ද්‍රනයෙන් යුත් මත්පැන් පානය කිරීම.
- අධික මානසික ආතතිය හා සමහර වෛරස් රෝග ආශ‍්‍රිතව ද තද බඬේ දැවිල්ලක් ඇතිවිය හැක.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- නිතර නිතර උගුරට ඒම හෝ වමනය යාම.
- බඩ පිපීම.
- කෑම ප‍්‍රියතාව අඩුවීම මෙන්ම නිතර වැසිකිලි යාමට සිදුවීම. (වැසිකිලි ගිය පසු සමහර පුද්ගලයින්ගේ ගුදය අවට දැවිල්ලක් ද හටගනී.)
- මලපහ තාර පැහැයක් ගැනීම හෝ කෝපි පැහැයට වමනය යාමක් සිදුවිය හැක. එවැනි අවස්ථා ඇතිවන්නේ නම් මේ ආසාත්මික තාවය නිසා වන ආමාශයේ තුවාල වීම් වලින් ලේ වහනය වීම නිසා වේ.

මේ සඳහා නිවසේ දී කල හැකි ප‍්‍රතිකාර ක‍්‍රම මොනවාද ?

- උදරයේ දැවිල්ල ඇති කරන ඖෂධ ගන්නේ නම් ඒවා නතර කල යුතුය. (නමුත් හෘද රෝග සඳහා ගන්නා ඖෂධ වෛද්‍යවරයෙකුගේ අනුදැනුම ඇතිව කල යුතුවේ.)
- හොඳින් ජලය පානය කිරීම.
- මිල්ක් ඔෆ් මැග්නීසියා වැනි ආමාශයේ ආම්ලික ගතිය අඩුකරන දෙයක් ගැනීම.

වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගතයුත්තේ කුමන අවස්ථාවේදී ද?

- ලේ වමනය වීමක් (රතු පැහැයට හෝ කෝපි පාටට)
- මලපහ සමඟ ලේ යාමක් (කළුතාර පැහැයට හෝ රතුපැහැයට) හො ඉහත සඳහන් කල නිවසේදී කල ප‍්‍රතිකාර වලින් දින 2-3 කදී සමනය වීමක් නොවූවහොත්

වෛද්‍යවරයා විසින් කෙසේ ප‍්‍රතිකාර කරනු ලබයිද?

මූලිකවම ආමාශයේ ඇසිඞ් ප‍්‍රමාණය අඩු කිරීමට ඖෂධ නියම කරනු ලබයි. දෙන ලද ඖෂධ වලින් පවා තත්වය පාලනය නොවේ නම් හෝ දීර්ඝ කාලයක් තිස්සේ තිබූ බඬේ දැවිල්ල එකවර වැඩිවීමක් වී තිබුනහොත් එන්ඩොස්කොපි පරීක්‍ෂණයක් කිරීමට යෝජනා කරනු ලබයි.
- ලේ වහනය වීමක් ඇති වී තිබුනහොත් එන්ඩොස් කොපි පරීක්‍ෂණයක් සිදුකරනු ලබයි.

මෙම රෝගී තත්වය ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

බඬේ දැවිල්ල වැඩිකිරීමට හේතුකාරක වන දේවල් ගැනීමෙන් වැලකීම ඇති එකම ක‍්‍රමය වේ.
උදා: මධ්‍යසාර, අධික තෙල් බහුල ආහාර, පමණ ඉක්මවා ආහාර ගැනිම.

ලිපිය පළකල දිනය Article uploaded on: 20/04/2024
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු