හීමොෆිලියාව (Hemophilia)

හීමොෆිලියාව යනුවෙන් අදහස් කරන්නේ කුමන රෝගී තත්වයක්ද?

මෙය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා රුධිරය වහනය වීමේ හැකියාවක් ඇති තත්වයකි.

තුවාලයක් වූ පසු රුධිර කැටියක් සෑදී රුධිරවහනය පාලනය වන මුත් මෙවැනි තත්වයකදී එසේ රුධිර කැටියක් සෑදීම පමා වේ.

එබැවින් ඉතා කුඩා තුවාලයකදී පවා අධික රුධිර වහනයක් විය හැක.

මෙවැනි තත්වයක් ඇති වීමට හේතු මොනවාද?

රුධිර කැටයක් සෑදීම ප්‍රෝටීන වර්ග සමූහයක ක‍්‍රියාදාමයක් නිසා සිදුවන අතර මෙම ප්‍රෝටීන වල යම් ඌණතාවයක් ඇති වී ඇත්නම් මෙම කි‍්‍රයාදාමය පමා වීමක් සිදුවේ.

මෙම ඌණතාවය බහුලව සිදුවන ප්‍රෝටීන හදුනා ගෙන ඇති අතර ඒවා ෆැක්ටර් viii සහ ix ලෙස හැදින්වේ.

මෙසේ ඌනතාවය ඇතිවී ඇති ප්‍රෝටීනය අනුව හීමෝෆිලියාව ප‍්‍රධාන වර්ග දෙකක් ඇත
හීමෝෆිලියා A
හීමෝෆිලියා B

මෙය තත්වය ආරෙට යාම සිදුවන අතර පිරිමි දරුවන් මෙම තත්වයට ගොදුරු වේ.

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

රුධිර වහනය ඇතිවන ප‍්‍රධාන ලක්ෂණය වන අතර මෙම අදාල ප්‍රෝටීනයේ ඌණතාවයේ ප‍්‍රමාණය අනුව රුධිර වහනය වීමේ ප‍්‍රමාණය වෙනස්වනු ඇත.

සමහර පුද්ගලයින්ගේ මෙම රෝගී තත්වය ඇතත් අදාල ප්‍රෝටීන ඌණතාවය සැලකිය යුතු මට්ටමක නොමැති බැවින් එවැනි රුධිර වහනයක් සිදු නොවී තිබිය හැකි අතර ශල්‍යකර්ම වලට භාජනය වීමේදී කරනු ලබන පරීක්ෂා කිරීම් වලදී පමණක් මෙම තත්වය ඇති බව හදුනා ගන්නා අවස්ථා ඇත.

නමුත් සමහර පුද්ගලයින්ගේ විශේෂ හේතුවක් නොමැතිව ශරීර අභ්‍යන්තරයේ මෙන්ම හන්දි ආශ‍්‍රිතව රුධිර වහනය වීම සිදු විය හැකි අතර මෙය එහි දරුණුතම අවස්ථාව වේ.

මෙය හදුනා ගැනීමට පරීක්ෂණ තිබෙනවාද?

රුධිර පරීක්ෂණ මගින් මෙය හදුනා ගත හැකි අතර
ජාන විශ්ලේෂන මගින් මෙම තත්වය ඇතිවීමේ හැකියාව ගැනද තොරතුරු ලබා ලබා ගත හැක.

මෙම තත්වය සදහා ප‍්‍රථිකාර මොනවාද?

මෙවැනි තත්වයකදී අදාල ඌණතාවය ඇති ප්‍රෝටීනය හදුනාගෙන එය පිටින් ලබා දීම ඇති එකම ප‍්‍රථිකාර ක‍්‍රමයයි.

නමුත් මෙය සිදුකල යුතුවන්නේ විශේෂ හේතුවක් නොමැතිව සිදුවන අභ්‍යන්තර රුධිර වහනයකදී , තුවාල වීමකදී සිදුවන අධික රුධිර වහනයකදී හෝ ශල්‍යකර්මයකට බදුන්වන අවස්ථාවලදී වේ.

මීට අමතරව වරින් වර කරනු ලබන පරීක්ෂණ වලදී අදාල ප්‍රෝටීනවල සැලකිය යුතු අඩුවීමක් වී ඇත්නම් එසේ පාරවිලනය කරන අවස්ථා ඇත

මෙවැනි රෝගීන් සැලකිලිමත් විය යුතු අනෙකුත් කරුණු මොනවාද?

තුවාල සිදුවීම අවමකර ගැනීමට වග බලා ගතයුතුය.

අන්තරාකාරී රැකියා හා ක‍්‍රීඩා වලින් ඈත් විය යුතුය.

යම් රුධිර වහනයක් සිදුවන්නේ නම් ඒ සදහා නිවසේදී කල යුතු දේ ගැන අවබෝධයක් තිබිය යුතු අතර වහාම රෝගියා රෝහලට රැගෙන යායුතුවේ.

සෑම විටම වෛද්‍යප‍්‍රථිකාර ගන්නා අවස්ථාවෙදී හෝ ශල්‍යකර්මයකට (දත් ගැලවීම වැනි සුලු ශල්‍යකර්මවලදී පවා ) භාජනයවන අවස්ථාවලදී තමාට හීමෝෆිලියාව ඇත බව දැන්විය යුතුය.

ඊට හේතුවන්නේ සමහර රෝගී තත්ව සදහා දෙනු ලබන ඖෂධ මගින් තවදුරටත් රුධිර කැටිගැසීම අවමකරන නිසා එහිදී විශේෂ අවධානයක් යොමුකල යුතුවීමයි (උදා ඇස්ප‍්‍රීන්)

ඉතා සුලු තුවාලවීමකදී පවා අන් අයට වඩා රුධිර වහනයක් සිදුවනවානම් වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ලබා ගැනීම යෝග්‍යවේ.

මෙය නිට්ටාවට සුව කල හැකිද?

මෙය නිට්ටාවට සුව කල නොහැක.

රෝගය පාලනය කල හැක.

Article uploaded on 20/03/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 20/03/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු