වලලුකර ආශ‍්‍රිත මාංශ පේශී හා තන්තුපටකවල වන ඉරීම් හා ඇදීම් ( Ankle Sprain)

වලලුකර හන්දියේ ස්ථාවර භාවය පවත්වා ගනුයේ කෙසේද?

වලලුකර ආශ‍්‍රිතව ඇති තන්තුපටක හා මාංශ පේශී මගින් එම හන්දියේ ස්ථාවර භාවය ප‍්‍රධාන වශයෙන් රදාපවත්වා ගනී.

ඊට අමතරව හන්දිය සෑදී ඇති අස්ථිවල හැඩයද යම් කාර්ය භාරයක් ඉටුකරයි.

මෙම හන්දිය ආශ‍්‍රිතව ඇති මාංශ පේශී හා තන්තු පටක ඉරීම් හා ඇදීම්වලට ලක්වීම අනෙකුත් හන්දි ආශ‍්‍රිතව ඇති මාංශ පේශී හා තන්තු පටකවලට වඩා වැඩි සම්භාවිතාවකින් දැකිය හැකිවේ.

ඊට හේතුව වන්නේ වලලුකර ශරීරයේ මුලු බරම අවසාන වශයෙන් යෙදෙන හන්දිය වීමයි.

වලලුකර ආශ‍්‍රිතව ඇති මාංශ පේශී හා තන්තු පටක මෙසේ ඇදීම් හා ඉරී යාම්වලට භාජනය වීමට හේතු මොනවාද?

වලලුකර ප‍්‍රදේශයේ ඇතිවන ඇඹරීම්.

එකවර එක් පැත්තකට සිදුවන නැවීම් ( උදා: ඇවිදින විටදී කකුල කුඩා වලවල් වල වැටීම් හා හිරවීම්)

ගල්ගොඩැලි සහිත පොලොවක ඇවිදින විටදී සිදුවන ක්ෂණික නැවීම්.

අඩි උස පාවහන් පැලදීමේදී මෙවැනි තත්ව ඇතිවීමේ අවධානම ඉතා වැඩිය.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

හන්දියේ ඇතිවන වේදනාව හා ඉදිමීම

මාංශපේශී වල ඇතිවන වේදනාව

හන්දිය චලනය කිරීම අපහසුවීම

වලලුකර ආශ‍්‍රීතව සම අවපැහැවීම

මෙවැනි අනතුරකදී දිය යුතු මූලික ප‍්‍රථිකාර කවරේද?

රෙදිකැබැල්ලක අයිස් ඔතා අනතුර වීඇති ස්ථානයේ තැබීම.

මදක් තදට වලලුකර හන්දිය බැන්ඩේජ් එකකින් එතීම

කකුල ඔසවා තැබීම හා දින කිහිපයක් වලලුකර හන්දියට බර යෙදෙන ලෙස ඇවිදීමෙන් වැලකීම.

කැක්කුම අඩුකිරීමට භාවිතාකරන ඖෂධයක් ගැනීම. මෙහිදී කැක්කුම අඩුකිරීමට දෙනු ලබන බාම් වර්ගද භාවිතා කල හැක.

සාමාන්‍යයෙන් කකුලේ කැක්කුම අඩුවීමට සතියක් පමණ ගතවනු ඇත.

සිදුවී ඇති අනතුරේ ප‍්‍රමාණය අනුව මෙය මාසයක් පමණ කාලයක් වූවද විය හැක.

මේ කාලය තුලදී අවශ්‍යනම් තාවකාලිකව කිහිලිකරුවක් බාවිතාකල හැක.

මේ ආකාරයට හන්දියට බර යොදන්නේ නැතිව ටික දිනක් තිබීමෙන් හන්දියේ කැක්කුම ඉක්මනින් පහව යයි.

ඉන්පසු ක‍්‍රමයෙන් හන්දිය නැවීම දිගහැරීම කල යුතු අතර ක‍්‍රමයෙන් හන්දිය මත යෙදෙන බර වැඩිකල යුතුය

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුත්තේ කවර අවස්ථාවලදීද?

මෙම අනතුරෙන් පසු හන්දිය ආශ‍්‍රීතව සාමාන්‍ය හැඩයේ වෙනස් වීමක් ඇති වී ඇත්නම්.

ඉවසිය නොහැකි තරමේ අධික වේදනාවක් ඇතිවන්නේ නම්

අස්ථියක් බිදී ඇතිබව හැගෙන්නේ නම්

හන්දිය ආශ‍්‍රිතව තුවාලවී ඇතිනම්

ඉදීමීම දින තුනකදී පමණ පහව නොයයි නම්

කැක්කම සති කිහිපයකදී පහව නොයයි නම්

හන්දිය රතුවී උණ ගතියක් ඇතිවේ නම්

වෛද්‍යවරයෙකු වෙත යොමු වී උපදෙස් ලබා ගැනීම වඩා යෝග්‍ය වේ.

Article uploaded on 26/02/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 27/02/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු