කාන්තාවන්ගේ යටිබඩේ විෂබීජ තත්ව නිසා ඇතිවන වේදනාව- Pelvic Inflammatory Disease (PID)

මෙම තත්වයකදි අසාදනයට ලක්වන අවයව මොනවාද?

ගර්භාෂය ,පැලෝපීය නාලය හා ඩිම්භ කෝෂ වල මෙහිදී ප‍්‍රධාන වශයෙන් විෂබීජ තත්ව ඇතිවන අතර කලාතුරකින් පැලෝපීය නාල හරහා උදර කුහරය තුලටද විෂබීජ ඇතුලුවිය හැක.

මෙසේ විෂබීජ තත්ව ඇතිවීමට හේතු මොනවාද?

විෂබීජ ගර්භාෂය තුලට ඇතිවිය හැකි ක‍්‍රම රාශියකි

දරුවකු බිහිකිරීමේදී ඇතිවන ව්‍යාකූල තත්වයක් ලෙස

ගර්භාෂයෙන් විවිධ පරීක්ෂණ සදහා පටක කොටස් ලබා ගැනීමේදී ඇතිවන ව්‍යාකූල තත්වයක් නිසා

දරුවකු පිලිසිදගැනීමෙන් පසු ටික කලකින් ගර්භාෂයෙන් පිට වීම (miscarriage)

කලාතුරකින් උපත්පාලන ක‍්‍රමයක් ලෙස භාවිතාකරන ලූප් (IUD) නිසා

වවිධ හේතු නිසා පිලිසිද ගත් දරුවකු ගබ්සා කිරීමේදී ඇකිවන ව්‍යාකූල තත්වයක් නිසා

මීට අමතරව සමාජ රෝග ආශ‍්‍රිතව ඇතිවන මෙවැනි තත්ව දැන් දැන් ක‍්‍රමයෙන් වැඩිපුර දැකිය හැකි වේ.

විශේෂයෙන් කැලැමීඩියා හා ගොනෝරියා වැනි සමාජ රෝග වලදී මෙවැනි තත්ව ඇතිවීමේ වැඩි අවධානමක් ඇත.

මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

යටි බඩේ ඇතිවන වේදනාව , යෝනි මාර්ගයෙන් පිටවන දුර්ගන්දයකින් යුත් ස‍්‍රාවය හා මද උණ ගතිය දැකිය හැකි ප‍්‍රධානතම ලක්ෂණ වේ.

මීට අමතරව කොන්දේ පහල ප‍්‍රදේශයේ ඇතිවන වේදනාවද බොහෝවිට දැකිය හැකිවේ.

මුත‍්‍රා දැවිල්ල, නිතර නිතර මුත‍්‍රා පිටවීම ,ඇගට පණ නැති ගතිය, ඔක්කාරයට ඒම ,ආහාර අරුචිය දැකිය හැකි අතර,

මාස්ශුද්ධියේදී දැඩි වේදනාවක් ඇතිවීම, අක‍්‍රමවත් ලෙස යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම හෝ රුධිරවහනයක් සිදු නොවීම මෙන්ම ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීමද ඉන්පසු රුධිර වහනයක් වීමද ඇතිවිය හැකි රෝග ලක්ෂණ අතර වේ

මෙවැනි තත්වයකදී කරනු ලබන පරීක්ෂණ මොනවාද?

වෛද්‍යවරයා විසින් කරනු ලබන රෝග විශ්ලේෂණය හා පරීක්ෂාවෙන් පසු අවශ්‍ය පරීක්ෂණ නිගමනය කරනු ඇත

රුධීර පරීක්ෂණ

යෝනිමාර්ගයේ ඇති ස‍්‍රාවයන් ආශ‍්‍රිතව කරනු ලබන පරීක්ෂණ

ස්කෑන් පරීක්ෂණ මේ අතර වේ.

මේ සදහා කෙසේ ප‍්‍රථිකාර කරනු ලබයිද?

මෙවැනි විෂබීජ තත්වයක් හදුනාගත් විට ඊට අදාල ප‍්‍රථිජීවක ඖෂධ මගින් ප‍්‍රථිකාර කරනු ලැබේ.

රෝගී තත්වයේ ස්වභාවය අනුව අදාල ඖෂධ බීමට හෝ එන්නත් ආකාරයට දීම සිදුකරයි.

යම් හෙයකින් මෙම රෝගී තත්වය සමාජ රෝගයක් නිසා ඇතිවූවක් නම් සහකරුටද ඒස මග ප‍්‍රථිකාර කල යුතුවේ.


ප‍්‍රථිජීවක ඖෂධ වලින් සමනය නොවන තත්ව සදහා ශල්‍යකර්ම සිදුකරනු ලබන අවස්ථා ඇත

මෙවැනි විෂබීජ තත්ව නිසා ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

දීර්ඝ කාලීනව ඇතිවන යටි බඩේ වේදනාව

දරුවන් පිලිසිද ගැනීමට බාධා ඇතිවීම

ගර්භාෂයෙන් පිටත කලලය තැන්පත් වීමේ ඇති අවධානම

පැලෝපීය නාලය ඩිම්භ කෝෂය ආශ‍්‍රිතව සැරව ගෙඩි ඇතිවීමේ ඇති අවධානම

මෙවැනි තත්ව ඇතිවීම වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග මොනවාද?

ලිංගේනද‍්‍රිය අවට පිරිසිදුව තබා ගැනීම.

සමාජ රෝගවලින් ආරක්ෂාවීම

සමාජ රෝග ඇත්නම් එයට හරියාකාරව නොපමාව ප‍්‍රථිකාර ගැනීම

අනාරක්ෂිත ලිංගික එක්වීමක් වූයේ නම් විෂබීජ තත්ව නැතිබවතහවුරු කරගැනීමට පරීක්ෂාකරවා ගැනීම.


Article uploaded on 06/02/2014

ලිපිය පළකල දිනය Article uploaded on: 06/02/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු