බෙල්ලේ ඇතිවන කැක්කුම (Neck pain)

බෙල්ලේ කැක්කුම පටන් ගැනෙන ස්ථාන මොනවාද?

බෙල්ල සෑදීමටඋපකාරී වන බෙල්ලේ කශේරුකා.

කශේරුකා අතර ඇති කාටිලෙජමය කුෂන් එකක් වැනි ව්‍යුහයන්.

කශේරුකා එකිනෙකට බැද තබන තන්තු.

බෙල්ලේ ඇති මාංශ පේශී.

සුෂුම්නාව හා ඉන් පිටතට එන ස්නායු වල ඇතිවන ව්‍යාකූලතා ප‍්‍රධාන වශයෙන් වේ.

මීට අමතරව උගුර ප‍්‍රදේශයේ ඇති ව්‍යුහයන්ගේ ව්‍යාකූලතා මෙන්ම හිස ඇතුලත ව්‍යාකූලතාවයන් හේතුකොටගෙනද කලාතුරකින් බෙල්ලේ කැක්කුමක් ඇතිවිය හැක.


බෙල්ල හැරවීමේ අපහසුතාවය මෙන්ම අත් දිගේ ඇතිවන හිරිවැටීමක් හෝ නලියන ස්වභාවය දැකිය හැකි ප‍්‍රධාන ලක්ෂණ වේ.

බෙල්ල කැක්කුම ඇතිවීමට හේතු මොනවාද?

ප‍්‍රධානතම හේතුව වන්නේ බෙල්ල ආශ‍්‍රිතව ඇති මාංශපේෂි වල ඇතිවන ව්‍යාකූල තත්වයන් වේ.

මාංශපේෂි ඇදීම හැකිලී තිබීම ඉදිමීම හා ඉරීම මේ අතරින් ප‍්‍රධාන වේ.

වැටීම්, හදිසි අනතුරු හෝ ව්‍යායාම කරන අවස්ථාවලදි අසාමාන්‍ය ලෙස සිදුවන බෙල්ල හැරවීම්, වැරදි ඉරියව්වලින් සිට නිදාගැනීම්, දීර්ඝ වේලාවක් පොත්පත් කියවීම, රූපවාහිනී නැරඹීම, මෙන්ම පරිඝණක භාවිතා කිරීමේදී මොනිටරය ඇසේ මට්ටමට වඩා ඉහලින් තිබීම හෝ පහල මට්ටමක තිබීම නිසා බෙල්ල දීර්ඝ වෙලාවක් නවාගෙන හෝ ඉහලට ඔසවාගෙන සිටීම නිසා ඉහත සදහන් කල ආකාරයට මාංශ පේෂී ආශ‍්‍රිතව ව්‍යාකූලතා ඇතිවි හැක.

බෙල්ලේ වූ කශේරුකා ආශ‍්‍රිතව ඇතිවිය හැකි ආතරයිටිස් තත්වයන්,කශේරුකා අතර ඇති කාටිලෙජමය ව්‍යුහයේ කොටසක් එලියට පැනීම, කශේරුකා ආශ‍්‍රිතව ඇතිවිය හැකි විෂබීජ තත්වයන් හෝ පිලිකාමය තත්වයක් නිසාද ඇතිවන මූලික ලක්ෂණයක් වනුයේ බෙල්ලේ කැක්කුමක් ඇතිවීමයි.

කශේරුකා ආශ‍්‍රිතව හා කශේරුකා අතර ඇති කාටිලේජමය ව්‍යුහයේ ඇතිවන ව්‍යාකූලතාවයන් නිසා ස්නායු තද වීමක් වුවද ඇතිවිය හැක. එමගින් කැක්කුම මෙන්ම හිරිවැටීම් පවා ඇතිවේ.

කලාතුරකින් වෛරස් ආසාදන තත්වක් නිසා මාංශපේශී ඉදිමී කැක්කුම ඇතිවිය හැක.

සාමාන්‍ය බෙල්ලේ කැක්කුමක් ඇතිවූ විට වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට ප‍්‍රථම කල හැකි දේ මොනවාද?

කැක්කුම ඇති වූ මුල් දින දෙකේ දී පමණ අයිස් කැටකිහිපයක් රෙදි කැබැල්ලක ඔතා හොදින් තවන්න.

ඉන් පසු දිනවලදි උණූ දෙයකින් තවන්න. මේ සදහා උණු වතුරෙන් පෙගවූ රෙදි කැබැල්ලක් භාවිතා කල හැක.

මෙය බොහෝවිට තමාටම කර ගත නොහැකි අතර තවකෙනෙකුගේ උදව් ඇතිව කරගැනීම යෝග්‍ය වේ.

බෙල්ල එකදිගට නමාගෙන හෝ ඉහලට ඔසවාගෙන කරන ක‍්‍රියාවලින් දින කිහිපයකට ඈත්වීම.

බෙල්ල කොදු නාරටිය පමණට වඩා හැරෙන( ඇඹරෙන) ආකාරයේ ක‍්‍රියා වලින් දින කිහිපයකට ඈත්වී සිටීම.

ටික දිනකට බර එසවීමෙන් වැලකීම.

ක‍්‍රීඩා කටයුතුවලින් ටික දිනකට ඈත්වී සිටීම. ( විශේෂයෙන් උඩ පැනීම, පාපන්දු ගැසීම එකදිගට හිටගෙන සිටීමට සිදුවන කී‍්‍රඩා )

බෙල්ල සුලු වශයෙන් ඉහල පහල හා දෙපැත්තට හැරෙන සේ ව්‍යායාම කිරීම.

ටිකක් තද බවින් යුත් මෙට්ටයක හෝ බිම නිදා ගැනීම (මෙහිදී කොට්ටයක් භාවිතා නොකර උඩුපෙලි අතට නම් වඩාත් සුදුසු වේ.)

බෙල්ල හැරවීමේදී තද කැක්කුමක් ඇතිවේ නම් විටින් විට බෙල්ලට දැමීමට කොලර් එකක් පැලදිය හැක. මෙයද එකදිගට දැමීමෙන් වැලකිය යුතුය.

සාමාන්‍ය වේදනා නාශක භාවිතාකර කැක්කුම අඩුවන්නේදැයි බැලිය හැක

වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවලදීද?

බෙල්ලේ කැක්කුම ඇතිවූයේ හදිසි අනතුරකට පසුව නම්.

බෙල්ලේ කැක්කුමත් සමග අත් පා හිරිවැටීම ගිලීමේ පහසුතා ඇතිවීම හා ස්වසනය කිරීමේ අපහසුතා ඇතිවීම.

බෙල්ල ආශ‍්‍රිතව ගෙඩි ඇතිවී තිබීම.

හිසේ ඇතිවන තද කක්කුම,උණ ගැනීම හා බෙල්ල නැවීමට පවා නොහැකිවීම. ( මෙය මොලය ආශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රීතව ඇතිවූ විෂබීජ තත්වයක් නිසා විය හැක)

බෙල්ලේ කැක්කුමත් සමග හුස්ම ගැනීම අමාරුවීම, දහඩිය දැමීම, වමනයට ඒම, අත දිගේ කැක්කුම ඇතිවීම යන ලක්ණ ඇති වේ නම් වහාම රෝහල් ගතවීම වඩාත් යෝග්‍ය වේ.

ඊට හේතුව වන්නේ එය හෘදය වස්තුව ආශ‍්‍රිතව ඇතිවු ව්‍යාකූලතාවයක් විය හැකි බැවිනි.

සාමාන්‍ය ප‍්‍රථිකර්ම මගින් සති දෙක තුනකින් සුව අතට හැරීමක් වූයේ නැත්නම්

බෙල්ලේ කැක්කුම ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද?

වායුසමීකරණ යන්ත‍්‍ර හා විදුලිපංකාවලින් එන සුලග කෙලින්ම බෙල්ලේ පිටුපසට හෝ පැත්තකට ගැටෙන්න්නම් එහි දිශාව මාරුකිරීමෙන් බෙල්ලේ එක්පැත්තක මාංශපේශී වැඩිපුර දීර්ඝ වේලාවක් හැකිලී තිබීමෙන් ඇතිවන බෙල්ලේ වේදනාව මගහරවා ගත හැක.

මෙය සිදුවන්නේ එක පැත්තක ඇතිවන අඩුඋෂ්ණත්ව තත්වයකට මාංශපේශීවල ඇති වන ප‍්‍රථික‍්‍රියාවක් ලෙස වේ.

නිදා ගැනීමේදී තම කොට්ටය පහසු ලෙසකට නිසි උසකට පිලියෙල කරගත යුතුය.
වැඩි උසකින් යුක්ත වීම බොහෝවිට දීර්ඝ කාලීනව බෙල්ලේ රුදා ඇතිකරලීමට හේතුකාරක වේ.

පාඩම් කිරීමේදී ,පරිඝණක භාවිතයේදී නිවැරදි ඉරියව් භාවිතා කිරීම.

බෙල්ලේමාංශ පේශී ශක්තිමත් වීමට ව්‍යායාම කිරීම.



Article uploaded on 29/10/2013

ලිපිය පළකල දිනය Article uploaded on: 29/10/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු