සෙලියුලයිටිස් ( Cellulitis)

සෙලියුලයිටිස් යනුවෙන් හැදින් වෙන්නේ කුමන තත්වයක්ද?

මෙය සමේ ඇතිවන විෂබීජ තත්වයකි.

මෙය බැක්ටීරියාවක් මගින් ඇතිකරයි.

Strptococcus
හා Staphylococcus යන බැක්ටීරියාවන් ඒ අතරින් ප‍්‍රධාන වේ.

සෙලියුලයිටිස් තත්ව බොහෝවිට කකුල්වල දැකිය හැකි වේ.

මෙම සෙලියුලයිටිස් තත්වය ඇතිවීමට හේතු මොනවාද?

සමෙහි ඇතිවන සීරිම් හා සමෙහි ඇතිවන තුවාල මගින් සමතුලට විෂ බීජ ඇතුලු වීමේ ප‍්‍රවනතාවය වැඩිකරයි.මෙසේ විෂ බීජ ඇතුලු වී මෙම තත්වය ඇතිකරයි.

කකුල් පැලීම හා සමෙහි පතුරු ගැලවීම.

කකුලෙහි වූ රුධිරවාහීනී අශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා (උදා නහර ගැට ගැසීම හා රුධිරවාහිනී සිහින් වීම)

තුවාල තිබීම (හදිසි අනතුරක් නිසා වුනු හෝ දියවැඩියාව හෝ රුධිරවාහිනී සිහින් වී අඩු රුධිර සැපයුමක් නිසා ඇතිවුන හෝ ශල්‍යකර්මයක් අශ‍්‍රිතව ඇතිවන)

සතුන් දෂ්ඨ කිරීම.

කකුල්වල ඇතිවූ දද ආශ‍්‍රිතව ඇතිවන විෂබීජ තත්ව

දීර්ඝකාලීනව ස්ටිරොයිඩ සහිත ක‍්‍රීම් වර්ග කකුල්වල ගැල්වීම
යන හේතූන් මගින් සෙලියුලයිටිස් ඇතිවීමේ අවධානම වැඩිකරයි

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

අදාල ස්ථානය රතුවීම.

ඉදිමීම හා කැක්කුම ඇතිවීම.

සම දිලිසෙන සෙයක් ගැනීම හා තදබවකින් යුක්ත වීම.

සමහර අවස්ථාවලදී බිබිලි ඇතිවීම හා ඉතා කෙටි කාලයක් තුලදී ඒවා විශාල වී දිය පොක්කලම් මෙන් දිස් වීම.

හන්දි අශ‍්‍රිතව ඇති වී ඇත්නම් හන්දි නැවීම හා දිග හැරීම අපහසු වීම.

තද උණ ඇති වීම හා ඇගට පණ නැති ගතියත් කෑම පිරිය අඩු වී වමනයට ඒමත් දැකිය හැක.

දහඩිය දැමීම හා මාංශ පේශීවල ඇතිවන දැඩි වේදනාව.

මේ සදහා පරීක්ෂණ සිදුකරනවාද?

මේ සදහා විශේෂිත වූ පරීක්ෂණයක් නැත.

ඇතිවී ඇති රෝග ලක්ෂණ මගින් වෛද්‍යවරයා රෝග නිගමනයකට පැමිනේ.

නමුත් දියවැඩියා තත්ව ඇත්දැයි බැලීමට පරීක්ෂණ සිදුකරනු ලබයි ඊට හේතුව වන්නේ දියවැඩියාව ඇති රෝගින් ගේ මෙම තත්වය ඇතිවීමට වැඩි ප‍්‍රවනතාවයක් ඇති බැවිනි.

මේ සදහා ප‍්‍රථිකාර සිදුකරන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් විෂබීජනාශක ඖෂධ මගින්(පෙනිසිලීන් වැනි) මෙම තත්වයට ප‍්‍රථිකාර කරනු ලබයි.

සෙලියුලයිටිස් තත්වය වැඩි ප‍්‍රමාණයක පැතිරීම,දියවැඩියා තත්ව,
හා දෙන ලද ප‍්‍රථිකාර මගින් යථා තත්වයට නොපැමිනීම ආදී කරුනු පදනම් කරගෙන සමහර අවස්ථාවලදී අදාල විෂබීජ නාශක ඉන්ජෙක්ෂන් ආකාරයට දීමට වෛද්‍යවරයා තීරනය කරනු ලබයි. එවැනි අවස්ථාවලදී රෝගියාට අදාල ප‍්‍රථිකර්මය අවසන් වන තෙක් රෝහලේ ගත කිරීමට සිදුවේ.

සෙලියුලයිටිස් ඇති තැන හෘදයවස්තුවේ මට්ටමට වඩා ඉහල මට්ටමක තබාගැනීමෙන් ඉදීමීම ඉක්මනින් අඩුවන අතර කැක්කුමද අඩුවේ.

සාමාන්‍යයෙන් මෙවැනි තත්වයක් සුව වීමට සතියක පමණ කාලයක් ගතවේ.

නමුත් සැරව එකතු වීමක් වැනි ව්‍යාකූලතා ඇතිවූවහොත් ශල්‍යකර්ම කිරීමට පවා සිදුවිය හැකි අතර එවැනි අවස්ථාවලදී වැඩිකාලයක් රෝහල් ගතව සිටිය යුතුවනු ඇත.

සෙලියුලයිටිස් තත්ව ඇතිවීම වලක්වාගන්නේ කෙසේද?

කකුල් වල පැලීම සම ගැලවී හා වියලි ගතියකින් යුක්ත වන්නේ නම් සම තෙත්ව තබා ගැනීමට ආලේප කරන ක‍්‍රීම් වර්ගයක් ආලේප කිරීම.( Moisturizing cream)

කකුල් පිරිසිදුව තබා ගැනීම.

නියපොතු ආදිය ක‍්‍රමානුකූලව කපා දැමීම.

කකුල්වල දද නහර ගැට ගැසීම් ආදිය ඇත්නම් ඒ සදහා නොපමාව ප‍්‍රථිකාර ගැනීම.

සමේ තුවාල වීමක් ඇති වූ විට ඒ සදහා නොපමාව ප‍්‍රථිකාර කිරීම කල යුතුය.

ලිපිය පළකල දිනය Article uploaded on: 16/09/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු