දරුවන්ගෙ අතේ කකුලේ කටේ එකවර ඇතිවන බිබිලි (Hand Foot Mouth Disease)

මෙය වැඩිපුර දැකිය හැකි තත්වයක්ද?

බොහොමයක් දරුවන් මෙම රෝගී තත්වයට මුහුණ දේ. නමුත් තරුණ අයට මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ට පවා මෙය වැලදිය හැක.

මෙය ඇතිවන්නේ කෙසේද?

මෙය වෛරස් ආසාදනයක් නිසා ඇති වේ. එම රෝග කාරක වෛරසය කොක්සැකි (Coxsackei virus A16)නමින් හැදින් වේ.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

-අතේ කකුලේ කටේ හා කුඩා දරුවන්ගේ තට්ටම ආශි‍්‍රතව ඉතා කුඩා බිබිලි පොකුරු වශයෙන් ඇතිවීම
-ඒවා එඹුව විට කැක්කුම ඇති වීම
-උන ඇතිවීම හා සෙම්ප‍්‍රතිශ්‍යාව මෙන් රෝග ලක්ෂණ ඇතිවීම
-කටේ, උගුරේ මෙන්ම දිවේ තුවාල ඇතිවීම හා ඒවා කැක්කුමෙන් යුතු වීම
-කෑම ප‍්‍රියතාව අඩුවීම (කටේ ඇතිවන තුවාල වල කැක්කුම නිසා කුඩා දරුවන් ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම මෙම රෝගී තත්වයේදී දෙමව්පියන්ට ඇතිවන ප‍්‍රධාන ගැටලුවකි)

මෙම වෛරසය බෝ වන්නේ කෙසේද?

මෙය එක් පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට බෝ වේ. එහිදී ඇතිවන බිබිලි පුපුරා යාමෙන් ඇතිවන ස‍්‍රාවයන් තැවරීමෙන් , නාසයෙන් ගලන දියර තැවරීමෙන් ,කාරා ඉවත දමන කෙල හා සෙම ඇගේ ගැටීමෙන් මෙන්ම එවැනි රෝගියෙකුගේ අසූචි මගින්ද තවකෙකුට පැතිරිය හැක
රෝගය ආසාදනය වී මුල් සතියෙදී මෙසේ රෝගය තවකෙනෙකුට පැතිරීමේ අවධානම ඉතා වැඩිය
සාමාන්‍යයෙන් පායන කාලයේදී මෙන්ම වැස්ස පටන් ගන්නා කාල රාමු තුලදී මෙය බහුලව දැකිය හැකි රෝගී තත්වයකි

මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

මේ සදහා විශේෂ වූ පරීක්ෂණ නොමැත. මෙම රෝගී තත්යේදී ඇතිවන බිබිලිවල ස්වභාවය හා අනෙකුත් රෝග ලක්ෂණ මගින් වෛද්‍යවරයා රෝග නිගමනයකට පැමිනේ

මේ සදහා ප‍්‍රතිකාර කරන්නේ කෙසේද

සෑමවිටම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුවේ
මේ සදහා වූ නිෂ්චිත ප‍්‍රථිකාරයක් නොමැත
උන පාලනය කිරීමට පැරසිටමොල් වැනි ඹෟෂධයක් ලබා දේ
මීට අමතරව ලුණු වතුරෙන් කට සේදීමට උපදෙස් දෙනු ඇත
වැඩිපුර දියර පානයකල යුතුවේ
දරුවන්ට දොඩම් වැනි දේ දීමෙන් වැලකිය යුතුය ඊට හේතුවන්නේ එහි ඇති ඇසිඩ් මගින් කටේ තුවාලවල කැක්කුම වැඩිකරයි
මද පමණට සිසිල්කරන ලද කිරි ආහාර වඩාත් යෝග්‍යවේ. එමගින් කටේ තුවාලවල කැක්කුම සමනය කරයි

රෝගය සාමාන්‍ය අතට හැරීමට කොපමණ කාලයක් ගතවේද?

සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකින් සාමාන්‍ය තත්වයට පත්වේ

මුලින් වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගත් පසු නැවත වෛද්‍යවරයා වෙත යොමුවිය යුත්තේ කුමන තත්වවලදීද?

උන අඩු නොවීම හා වලිප්පුව ඇති වීම
ගෙල ප‍්‍රදේශයේ හා අතේ පයේ කැක්කුම ඇතිවීම
මූත‍්‍රා තද පැහැයක් ගැනීම හා යන ප‍්‍රමාණය අඩුවීම

රෝගය ඇතිවීම වලක්වාගන්නේ කෙසේද?

රෝගය වැලදුනු පුද්ගලයින්ගෙන් ඈත් වී සිටීම හා එවැනි ගැටුනු අවස්තාවලදී සබන් දා අත් සේදීම

ලිපිය පළකල දිනය Article uploaded on: 08/07/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු