මාස් ශුද්ධිය වීමේදී අධික වේදනාව (Dysmenorrhea)

සාමාන්‍ය ආකාරයට මාස් ශුද්ධිය වීමේදී වේදනාවක් ඇතිවේද?

දරාගත හැකි ආකාරයේ යම් තරමක වේදනාවක් ඇතිවේ. නමුත් මෙය සාමාන්‍ය තත්වයකි.

අසාමාන්‍ය ආකාරයට මාස්ශුද්ධිය හා සම්භන්ධ වේදනා ඇති වන්නේ කෙසේද?

යටි බඬේ ඇතිවන තද කැක්කුමකි. එය විටෙන් විට අඩු වැඩිවේ. මෙය කැක්කුම කොන්දේ පහළ කොටස දක්වා පැතිරිය හැක. සමහර කාන්තාවන්ගේ මෙය කලවා ප‍්‍රදේශයේ ඇතිවන තද වීමක් හෝ වේදනාවක් ලෙසද ඇතිවිය හැක.
මීට අමතරව දහඩිය දැමීම, ශරීරයට පණ නැති ගතිය, වමනය දැමීම හා බඩඑළිය යාම වැනි තත්ව මේ සමඟ ඇතිවිය හැක.

මෙසේ අධික වේදනාවක් ඇතිවීමට හේතු මොනවාද?

මාස් ශුද්ධිය සිදුවීම පටන් ගැනීමේදී සිට (වැඩිවියට පත්වීම) ඇතිවන වේදනාව බොහෝ විට ගර්භාෂය ආශ‍්‍රිතව ඇතිවන රසායනිකයක් නිසා (Prostaglandin) ඇතිවේ.
මෙහිදී මාස් ශුද්ධිය සිදුවීමට පෙර ආසන්නතම අවස්ථාවේ සිට කැක්කුම ඇතිවන අතර ක‍්‍රමයෙන් වැඩිවී මාස් ශුද්ධිය සිදුවීම අඩුවීමත් සමඟ කැක්කුම පහව යයි.
මෙවැනි තත්වයන් වයසින් වැඩිවීමත් සමඟ මෙන්ම දරුවෙකු බිහිකිරීමෙන් පසුවද ක‍්‍රමයෙන් සාමාන්‍ය තත්වයට පත්වේ.
මුලදී මාස් ශුද්ධිය හරියාකාරව සිදුවී පසුකාලීනව වේදනාකාරී ස්වභාවයක් ගැනීමට පුළුවන. මීට හේතු වන්නේ ගර්භාෂය, ඩිම්භකෝෂ හෝ යෝනී මාර්ගය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතාවයන් වේ.
මේ අතරින් එන්ඩොමෙට්ටි‍්‍රයොසිස් (Endometriosis) ගර්භාෂයේ ඇතුලත බිත්තියේ ඇති පටක ගර්භාෂ බිත්තිය තුළට වර්ධනය විම (Adenomyosis) හා ගර්භාෂ බිත්තියේ ඇතුළත හෝ පිටත ඇතිවන පිළිකාමය නොවන ගැටිති (Fibroids) ප‍්‍රධාන වේ.
මෙහිදී ඇතිවන ප‍්‍රධානතම ලක්‍ෂණව වනුයේ ක‍්‍රමයෙන් මාස් ශුද්ධිය ආශ‍්‍රිතව ඇතිවන කැක්කුමේ ස්වභාවය ක‍්‍රමයෙන් වැඩිවීමයි.

මේ සඳහා කරනු ලබන පරීක්‍ෂණ මොනවාද ?

- ස්කෑන් පරීක්‍ෂණ
-
ලැපරොස්කොපි පරීක්‍ෂණ (Diagnostic Laparoscopy)

මෙවැනි වේදනාකාරී තත්ව සඳහා ඇති ප‍්‍රථිකාර මොනවාද?

- වේදනා නාශක ඖෂධ භාවිතය (NSAIDS - Mefenamic acid)
-
හෝමෝන ප‍්‍රථිකාර
බොහෝවිට වෛද්‍යවරයා විසින් මේ සඳහා උපත්පාලන පෙති ගැනීමට නියම කරයි. උපත් පාලන පෙති වල ප‍්‍රධාන වශයෙන් ඇත්තේ ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට‍්‍රජන් නැමැති හෝමොන වර්ග 2ක වන අතර මෙමඟින් මාස් ශුද්ධිය වීම පාලනය කර වේදනාව අඩුකරයි.

-
ව්‍යායාම කිරීම, මානසික ආතතිය අඩුකර ගැනීම, සුවදායක නින්ද යන කරනු මෙවැනි තත්වයන් පාලනයට ඉතාම වැදගත් වේ.

ඉහත කිසිදු ක‍්‍රමයකට පාලනය නොවේ නම් ශල්‍යකර්මයක් මඟින් අදාල හේතුකාරක තත්වය ඉවත් කල යුතු වේ.

ලිපිය පළකල දිනය Article uploaded on: 27/04/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු