ගුද මාර්ගයේ ඇති වන ඉරිම් (Anal Fissures)

Anal Fissures එකක් යනුවෙන් වෛද්‍ය වරුන් අදහස් කරන්නේ කුමක්ද?

එය ගුදමාර්ගයේ පහළම කොටසේ ඇතිවන ඉරීමක් ලෙස සරළව හැඳින්විය හැකිය.

ඒ සඳහා හේතු මොනවාද ?

වැඩිපුරම දක්නට පුළුවන් වනුයේ කුඩා ළමුන්ගේ වන අතර වයස් බේදයකින් තොරව ඇතිවිය හැකිය.
ප‍්‍රධානම හේතු වන්නේ
1. මල බද්ධය
2. තද ඝණ ගතියෙන් යුතු මලපහ විශාල කැබලි වශයෙන් පිටවීම.
3. එක දිගට බඩඑළිය යාම.
4. වයසක පුද්ගලයන්ගේ රුධිර ගමනාගමනයේ සිදුවන ව්‍යාකූලතා නිසා අඩු රුධිර ප‍්‍රමාණයක් ලැබීමෙන් ගුදමාර්ගයේ තුවාල ඇතිවිය හැක.
5. දරුවන් ලැබීමේදී සිදුවන තුවාල වීම්.
6. සමහර අවස්ථාවලදී බඩවැල්වල ඇති අසාත්මිකතා හා සම්බන්ධව ඇතිවිය හැකිය. උදා: Crohn's Disease
7. අස්වාභාවික ලිංගික හැසිරීම් ද මේ සඳහා හේතුකාරක වේ.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද ?

1. වැසිකිලි යාමේදී ඇතිවන ඉවසිය නොහැකි තරමේ කැක්කුම.
2. සමහර විට ලේ ස්වල්ප වශයෙන් පිටවීම.
3. මල බද්ධය (මෙය මූලිකව ඇතිවන්නේ වැසිකිලි යාමේදී ඇතිවන කැක්කුම නිසා වේ.)

මේ සඳහා විශේෂිත වූ පරීක්‍ෂණ තිබේද?

වෛද්‍යවරයා විසින් කරණු ලබන ගුද මාර්ගය අවට පරීක්‍ෂාවෙන් බොහෝ විට නිගමනයකට එළබිය හැක. එසේ නොහැකි අවස්ථා වලදී සිහිනැති කර ගුද මාර්ගය ආශ‍්‍රිත පරීක්‍ෂාවක් සිදුකළ යුතුවේ.

මේ සඳහා ඇති ප‍්‍රතිකාර ක‍්‍රම මොනවා ද?

බොහොමයක් ඒවා කිසිම ප‍්‍රතිකාරයක් නොමැතිව ඉබේම සුවවේ. නමුත් සමහර අවස්ථා වලදී ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

නිවසේදී කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රම
1. ගුදය අවට පිරිසිදු කර තබා ගැනීම.
2. ආහාර රටාවේ වෙනස් කම් ඇතිකිරීම. (තුවාල යම්දුරකට සුවවෙන තෙක් දියරමය ආහාර ගැනීම.)
3. ක‍්‍රීම් වර්ග ආලේපනය. (උදා: Lidocain cream) මෙමඟින් කැක්කුම තරමක් දුරට අඩුවේ. ක‍්‍රීම් ආලේපනය වැසිකිලි යාමට මිනිත්තු 10-15 අතර කාලයකට පෙර ගුදමාර්ගය අවට සහ ඇතුළත ආලේපනය කිරීම මඟින් කැක්කුම තරමක් දුරට අඩුවේ.
4. මද උණුවතුරේ විනාඩි 10-15 අතර කාලයක් ඉඳගෙන සිටීම.(sitz bath)

මෙම ක‍්‍රම මඟින් සුව නොවේ නම් ශල්‍යකර්මයක් කිරීම අවශ්‍ය වේ. මෙමඟින් ගුදමාර්ගය පහල ඇති කපාට බුරුල් කිරීමක් සිදුකෙරේ. මෙම කපාට බුරුල් කිරීම එන්නත් කිරීම මඟින් ද කළ හැක. (Botox injection) නමුත් මෙම ක‍්‍රමය ලංකාවේ එතරම් භාවිතයේ නොමැත.

මෙය වලක්වා ගත හැක්කේ කෙසේද?

1. කුඩා ළමුන්ගේ පැම්පස් නිතර මාරුකිරීම.
2. ගුද මාර්ගය අවට තෙත මාත්තු කිරීම.
3. මල බද්ධය හෝ බඩඑළිය යාම වැනි අවස්ථාවල දී ඉක්මන් ප‍්‍රතිකාර කිරීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 29/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු