පහළ මුත‍්‍රා මාර්ගය අවහිරවීම (මුත‍්‍රා අඩස්සිය)

මුත‍්‍රා අඩස්සිය යනු කුමක්ද?

නොයෙකුත් හේතු මත මුත‍්‍රා කිරීමේදී අධික ලෙස තැටමීමට සිදුවීමත්, මුත‍්‍රා සියල්ල පිටකිරීමට නොහැකි වීමත් හිටි හැටියේම මුත‍්‍රා පිටනොවීමත් යන අවස්ථා මුත‍්‍රා අඩස්සිය ලෙස හැඳින්වේ.

මෙසේ මුත‍්‍රා මාර්ග අවහිර වීමට බලපාන හේතු මොනවාද?

- පහළ මුත‍්‍රා මාර්ගය කුඩා වීම.(මෙය නොයෙකුත් විෂබීජ තත්ව, විශේෂයෙන් සමාජ රෝග හා දීර්ඝ කාලීනව මුත‍්‍රා බට දමා තිබීම හෝ සිදුවූ තුවාල වීමක් හේතු කොටගෙන විය හැක.)
- පුරස්ථ ග්‍රන්ථිය විශාල විම(මෙය පිලිකාමය හෝ පිලිකාමය නොවන තත්වයක් විය හැක)
- මුත‍්‍රා මාර්ගයේ ගල් හිරවීම.
- කාන්තාවන්ගේ ගර්භාශය පහත්වීම හෝ ඒ ආශ‍්‍රිතව ඇතිවන ගෙඞ්
- මුත‍්‍රාශයේ ඇතිවන ගෙඩි

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

- උදරයේ පහළ කොටසේ ඇතිවන වේදනාව
- සෑම විටම මුත‍්‍රාශය පිරී තිබෙන්නාක් සේ දැනීම.
- මුත‍්‍රා කිරීමේදී පටන් ගැනීමට වේලාවක් ගතවීම.
- නිතර නිතර මුත‍්‍රා කිරීමට අවශ්‍ය වීම.
- නිතර ඇතිවන විෂබීජ තත්ව
- රෑට නිතර නිතර මුත‍්‍රා කිරීමට අවදිවන්නට සිදුවීම.

මේ සඳහා ඇති ප‍්‍රථිකාර ක‍්‍රම මොනවාද?

- එකවර ඇතිවන මුත‍්‍රා අඩස්සියකදී මුත‍්‍රා බටයක් දැමීමට සිදුවන අතර එසේ නොහැකි විටදී උදරය හරහා කටුවක් මුත‍්‍රාශය වෙත යොමුකර මුත‍්‍රා ඉවත්කිරීමට සිදුවේ.
- මුත‍්‍රා මාර්ගය සිහින් වී ඇත්නම් ශල්‍යකර්මයක් මඟින් මුත‍්‍රා මාර්ගය විශාල කිරීමට හෝ මුත‍්‍රා මාර්ගය නැවත සකස්කිරීමට හෝ සිදුවිය හැක.
- පුරස්ථ ග්‍රන්ථිය විශාල වී ඇත්නම් එහි පිලිකාමය තත්වයක් ඇත්දැයි පරීක්‍ෂාකර බැලීම ප‍්‍රථමයෙන් කල යුතු අතර ඉන්පසු පුරස්ථ ග්‍රන්ථිය සම්පූර්ණයෙන් ඉවත්කිරීම හෝ ඇතුල් පැත්තෙන් මුත‍්‍රාමාර්ගයට බාධා කරන කොටස ඉවත්කිරීම කරනු ලබයි.
පිලිකා නොවන තත්ව වලදී ශල්‍යකර්මයකට ප‍්‍රථම නොයෙකුත් ඖෂධ මඟින් පුරස්ථ ග්‍රන්ථිය කුඩා කිරීමට උත්සහ කරන අතර එසේ නොහැකි වූ විටදී ශල්‍යකර්මයකට යොමු කෙරේ.
- කාන්තාවන්ගේ ගර්භාෂය පහත්වීම වැනි තත්ව වලදී ඊට අදාල ශල්‍යකර්ම මඟින් ඒවා යථා තත්වයට පත්කල යුතුය.

මෙසේ මුත‍්‍රා ගමනට බාධා වීමෙන් ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

- මුත‍්‍රා මාර්ගයේ ගල් ඇතිවීමේ ප‍්‍රවනතාව
- මුත‍්‍රාවල නිතර නිතර විෂබීජ තත්වයන් ඇතිවීම
- වකුගඩු ඉදිමීම හා නරක් වීම
- මුත‍්‍රා අඩස්සිය ඇතිවීම.
- නොදැනීම මුත‍්‍රා පිටවීම.

ලිපිය පළකල දිනය Article uploaded on: 24/03/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු