නින්දේදී ඇතිවන ස්වසන අපහසුතාවය(Sleep Apnea)

නින්දේදී ඇතිවන ස්වසන අපහසුතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ කවර තත්වයක්ද?

තද නින්දේ ඇති පුද්ගලයෙකු තත්පර 10 සිට තත්පර 30 ක් පමණ දක්වා කාලයක් විටින් විට ස්වසනය නොකර සිටීමේ තත්වය සැලකිය යුතු නින්ද හා සම්භන්දව ඇති ගැටලුවක් වේ.

සාමාන්‍ය පැය හයක පමණ නින්දකදී මෙවැනි තත්ව වාර 400ක් පමණ ඇතිවිය හැක.

මෙය නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ඇති කල හැකි තත්වයකි.

මෙම තත්වය සුලභව දැකිය හැකි තත්වයක්ද?

මෙම නින්දේදී ඇතිවන ස්වසන අපහසුතාවය විවිධ මට්ටමේ විය හැක.

කෙනෙකුගේ මෙම තත්වය මද වශයෙන් විය හැකි අතර තව කෙනෙකුගේ මෙම තත්වය සැලකිය මට්ටමේ විය හැක.

සමස්ථයක් හැටියට බොහොමයක් පුද්ගලයින් මෙම තත්වයට මුහුණ දේ.

මෙහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

මෙම තත්වය මුලින්ම හදුනා ගත හැක්කේ අසල නිදාගන්නා පුද්ගලයාට වේ.

මෙහිදී අධික ලෙස නින්දේදී ගෙරවීමත් ඒ අතර කාලයකදී සැලකිය යුතු කාලයක් ස්වසනය නොකර සිටීමත් දැකිය හැකි ලක්ෂණ වේ.

නින්දේදී මෙම ස්වසන අපහසුතාවය හේතුවෙන් විටින් විට ඇහැරීම සිදුවූවද එය මතකයේ නොවිය හැක.

නමුත් උදේ නින්දෙන් අවදි වූ පසු පහත ලක්ෂණ ඇත්නම් එය නින්දේදී ඇතිවන ස්වසන ගැටලුවක් නිසා විය හැක.

දිවා කාලයේදී නිදි කිරා වැටීම.( විශේෂයෙන් රිය ධාවනයේදී මෙන්ම කථාකරමින් සිටිනවිටදී)

ඇගට දැනෙන තෙහෙට්ටු ගතිය හා සිත ඒකාග‍්‍රව තබාගත නොහැකිවීම.

නිතර අමතකවීම හා උදේ කාලයේදී ඇතිවන හිසේ කැක්කුම.

ලිංගික ආශාව අඩුවීම.

මෙවැනි තත්වයක් ඇතිවීමට හේතු මොනවාද?

ස්වසන මාර්ගයේ ඇතිවිය හැකි හිරවීමක් නිසා මෙවැනි තත්වයක් ඇතිවීම සුලබව දැකිය හැක.

නින්දේදී දිව පසුපසට වැටීම, උගුරේ ඇති සෙම් ගෙඩි විශාල වීම,අධික ස්ථූලතාවයත් සමග උගුර ආශ‍්‍රිත ප‍්‍රදේශයේද වැඩිපුර මේද පටක තැන්පත්වීම හා නින්දේදී උගුර ආශ‍්‍රිත මාංශ පේෂී ලිහිල්වීම නිසා ඉහල ස්වසන මාර්ගය හැකිලීම මෙවැනි හිරවීම් ඇතිවීමට බෙහෙවින් බලපායි.

මීට අමතරව මොලයේ ස්වසනය පාලනය කරන ප‍්‍රදේශයේ ඇතිවන ව්‍යාකූලතා නිසාද නින්දේදී මේ ආකාරයට අක‍්‍රමවත් ස්වසන රටා ඇතිවිය හැක.

මෙම තත්වය නිසා ඇති විය හැකි ව්‍යාකූලතා මොනවාද?

අධික රුධිර පීඩනය

හෘදය වස්තුව හා ඇතිවන රෝගී තත්ව

අඝාතය වැනි තත්ව ඇති වීමේ අවධානම වැඩිවීම

රියධාවනයේදී හදිසි අනතුරුවලට ලක්වීමේ හැකියාව වැඩිවීම

මෙවැනි තත්ව අවමකර ගැනීම සදහා කල හැකි දේ මොනවාද?

මධ්‍යසාර භාවිතය නැවැත්වීම

නිදාගැනීමට නිදි පෙතිභාවිතා කරන්නේ නම් එය නැවැත්වීම

දුම් පානය නැවැත්වීම


ඉහත සදහන් කල කරුනු තුනම උගුර ආශ‍්‍රිත මාංශපේෂී ලිහිල් කිරීමට හේතුකාරක වේ.

ස්ථූලතාවය අඩුකරගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීම

නිතර උගුර ආශ‍්‍රිත විෂබීජ තත්ව ඇතිවන්නේ නම් ඒ සදහා ප‍්‍රථිකාර ගැනීම (විශේෂයෙන් සයිනුසයිටිස් වැනි තත්ව)

නිතර ආමාශයේ ඇති ඇසිඩ් උගුර එන තත්ව ඇතිනම් එ් සදහා ප‍්‍රථිකාර ගැනීම

සෑම විටම පැත්තට හැරී නිදා ගැනීම (උඩුපෙලි අතට නිදා ගැනීමෙන් දිව පසුපසට වැටී ස්වසන මාර්ගය අවහිර කිරීමේ හැකියාව ඉතා වැඩිය)

ඉහත ක‍්‍රම මගින් ද සහනයක් නොලැබෙන්නේ නම් ඇති අනෙක් ප‍්‍රථිකාර මොනවාද?

නිදාගැනීමට ප‍්‍රථම මුඛයේ පැලදිය හැකි උපකරණ භාවිතයට උපදෙස් දීම.( මෙමගින් අදෝහනුව ඉදිරියට තල්ලුකර තබන අතර දිව පිටුපසට වැටී ස්වසන මාර්ගය අවහිර කිරීම අවම කරයි)

නිදාගැනීමේදී යම් පීඩනයකින් ආශ්වාස කරන වාතය තල්ලු කල හැකි මාස්ක් එකක් පැලදීමට උපදෙස් දීම.

ඉතාම කලාතුරකින් ඉහත ක‍්‍රම මගින් සහනයක් නොලැබෙන්නේ නම් උගුර ආශ‍්‍රිත ශල්‍යකර්මයක් කිරීමට යෝජනා කරනු ඇත.

ලිපිය පළකල දිනය Article uploaded on: 06/09/2014
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු