පිස්සුබලු රෝගය (Rabies)

පිස්සු බලු රෝගය යනුවෙන් අදහස් කරන්නේ කුමන තත්වයක්ද?

මෙය වයිරසයක් නිසා හටගන්නා රෝගී තත්වයකි.පිස්සු බලු රෝගය ඇති බල්ලෙකු සපා කෑ විට එම සතාගේ කෙල තුවාලය තුලින් ශරීරයට ඇතුලු වී ස්නායු දිගේ මොලයට ඇතුලු වේ. මෙසේ ඇතිවන වයිරසය මගින් රෝග ලක්ෂණ ඇතිකිරීමට දින 7 සිට අවුරුදු 7 ක් දක්වා කාලයක් ගත විය හැක. මෙය මාරාන්තික තත්වයක් වන අතර මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ
1.වලිප්පුව මෙන් ඇතිවීම

2.කට දෙපැත්තෙන් කෙල හැලීම

3.සපාකෑමට ලක් වූ තැන සංවේදනය වන ප‍්‍රමාණය වැඩි වීම

4.මාංශ පේශී ක‍්‍රියාකාරීත්වය අඩු වීම

5.මාංශ පේශී තද ගතියෙන් යුක්ත වීම

6.මද වශයෙන් උන ගැනීම

7.සපා කෑ තැන ඇති වන කැක්කුම හා හිරි ගතියක් ඇති වීම

9.එක ආකාරයකට සිටිය නොහැකි වීම

10.ගිලීමේ අපහසුතා ඇති වීම ,ගිලීම සිදු කරන විට ස්වසනය කිරීමට ඇතිවන දැඩි අපහසු බව

11.දින 7කින් පමණ සිහිසුන් වීම හා මිය යාම.

මෙය වැලදුනු විට නැවත සුවකිරීමක් කල නොහැක එබැවින් මෙම රෝගි තත්වය වැලදීම වැලැක්වීමට සියලු පියවර ගත යුතුය.

මෙය වැලදිය හැක්කේ කෙසේද?

මෙම රෝගය බොහොමයක් ක්ෂීරපායි සතුන්ට වැලදෙන අතර සුනඛයින් ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනී

සමහර රටවල වවුලන් මගින් පැතිරුනු අවස්ථා වාර්ථා වී ඇත

මෙම රෝගය වැලදුනු සතෙකුගේ කෙල ශරීරගත වීමක් සිදු වූවහොත් (සපාකැමේදී සිදුවන තුවාල හා සීරීම් හරහා )මෙම රෝගය වැලදීමේ වැඩි අවධානමක් ඇත

බල්ලෙකු සපා කෑ විට කුමක් සිදුකල යුතුද?

කලබල නොවී සිටිය යුතුය.

සපා කෑ තැන සබන් දා හොදින් ගලන ජලයෙන් විනාඩි 5 ක් පමණ සෝදා හැරිය යුතුය.

ඉන්පසු එම ස්ථානය පිරිසිදු රෙදි කැබැල්ලකින් වසා දමන්න.

ලේ ගැලීමක් සිදුවන්නේ නම් එම ස්ථානය පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් තද කරගෙන සිටින්න.

වහාම වෛද්‍ය උපදෙස් පතන්න.


වෛද්‍යවරයා වෙත යොමු වීමේදී.......

බල්ලාට එන්නත් ලබා දී තිබෙනම් ඒ සදහා දෙනු ලබන වාර්ථාව රැගෙන යා යුතුය.
එසේම මීට පෙර අදාල පුද්ගලයාට පිටගැස්මට එන්නත් දී ඇත්නම් එම වාර්ථාවද රැගෙන යා යුතුවේ.

හැකි ඉක්මනින් වෛද්‍යවරයෙ කු වෙත යොමු වී උපදෙස් ලබා ගැනීම යෝග්‍යවේ.

රෝහලේදී මේ සදහා ප‍්‍රථිකාර කරනුයේ කෙසේද?

සපාකෑමේදී තුවාලය සිදුවී ඇති තැන,සුනඛයා එන්නත් කර තිබෙන ආකාරය, සපා කෑම සිදු වූ ආකාරය ආදී සාධක සලකා බැලීමෙන් පසු එන්නත් ලබා දීම ගැන වෛද්‍යවරයා සලකා බැලීම සිදුකරයි.

එන්නත් ලබා දීමට තීරනය කරනු ලැබුවේ නම් ප‍්‍රථමයෙන් ඒ සදහා අසාත්මිකතා ඇතිවේ දැයි බැලීමට අතේ එක් ස්ථානයකට එන්නතෙන් ඉතාම ස්වල්පයක් සම යටට එන්නත් කරනු ලැබෙ.

ටික වේලාවකින් එම එන්නත් කල ස්ථානය රතු වී ඉදිමී පැතිර යන්නේ නම් අසාත්මිකතාවයක් ඇත.

එවැනි පුද්ගලයින්ට එන්නත ලබා දීමේදී දැඩි සත්කාර පහසුකම් තිබිය යුතු අතර බොහෝවිට ශල්‍යාගාර තුලදී එන්නත් කිරීම සිදුකරයි.

ඊට හේතු වන්නේ ශල්‍යාගාර තුල මෙවැනි තත්වයකදී ඉතාම කලාතුරකින් ඇතිවන අසාතිමිකතාවයක් පාලනය කිරීමට අවශ්‍ය පහසුකම් ඇති බැවිනි

එන්නත ලබා දීමේදී ඉන් කොටසක් තුවාලය වටෙට් ද ඉතිරිය කලවා ප‍්‍රදේශයටද එන්නත් කිරීම සිදුකරයි.

ඉන් පසු වරින් වර එන්නත් කිරීම කරනු ලබන අතර ඒ සදහා කාල සටහනක් දෙනු ලැබේ. ඊට අනුව එම එන්නත ලබා ගැනීම මෙම රෝගය ඇති වීම වලක්වා ගැනීමට අනිවාර්යෙන් කලයුතු වේ.

සපාකන ලද දිනයේ සිට දින 14ක් පමණ යන තුරු මෙම එන්නත දිය හැකි මුත් හැකි ඉක්මනින් ලබා දීමෙන් ඇතිවන ආරක්ෂාව ඉතා ඉහල වේ.

පිටගැස්මට දෙනු ලබන එන්නතද දෙනු ලැබේ. නමුත් අවුරුදු 5ක් ඇතුලත පිටගැස්ම සදහා දෙනු ලබන එන්නත් සම්පූර්ණ මාත‍්‍රාව දී ඇත්නම් එම එන්නත ලබාදීම සිදුකරන්නේ නැත

ඊට හේතුව වන්නේ එහිදී ඇතිවන ප‍්‍රථිශක්තිය ප‍්‍රමාණවත් බැවිනි.

බොහොවේලාවට සපාකන ලද තුවාලය විශාල වූවත් මැහුම් දැමීමක් සිදුකරන්නේ නැත.


ලිපිය පළකල දිනය Article uploaded on: 27/08/2013
මෙම දැනුම ඔබේ යහළුවන් අතරේත් බෙදාගන්න

ඔබ ලෙඩරෝග පිළිබඳ දැනුවත්ද?

එන්න, දැනුම මැනල බලමු සියලුම ගැටළු